ලක්ෂ 180ක රන් සමග ඉන්දීය ජාතිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට


රුපියල් එක් කෝටි අසූ ලක්ෂයක් (රුපියල් මිලියන 18 ක් ) වටිනා ස්වර්ණාභරණ තොගයක් , නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ඒමට තැත් කළ ඉන්දීය ජාතික ගුවන් මගීන් දෙදෙනෙකු 08/20 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මොවුන් නිතර නිතර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගුවන් ගමන් වල යෙදෙමින් ව්‍යාපාරික කටයුතු වල යෙදෙන 28 හැවිරිදි සහ 38 හැවිරිදි වියේ පසුවන ව්‍යාපාරිකයන් දෙදෙනෙකි.

ඔවුන් 08/20 දින අලුයම 02.00 ට පමණ ඉන්දියාවේ චෙන්නායි සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6ඊ1207 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " ( Green Chanel ) ඔස්සේ මොවුන් ගුවන් තොටුපළෙන් පිට වීමට උත්සාහ දරමින් සිටියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි.

ඔවුන් පැළද සිටි පාවහන් සහ යට ඇදුම් තුළ මෙන්ම ගෙල පැළද ගෙන මෙම කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 200 ක් බරැති ස්වර්ණාභරණ තොගය රැගෙන විත් තිබුණි. එම ගෙළ පැළද සිටි මාළ , ඔවුන් රිදී පැහැයෙන් ආලේප කර තිබුණේ, ඒවා රත්තරන් නොවන බව, රේගු නිලධාරීන්ට ඒත්තු ගැන්වීමට සහ ඔවුන් නොමග  යැවීම සදහාය.

මේ වනවිට මෙම ඉන්දීය ජාතිකයන් දෙදෙනා අත් අඩංගුවේ තබා ගෙන ගුවන් තොටුපළ රේගු නිලධාරීන් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති.



Recommended Articles